මින් විසි වසරකට පෙර මවිසින් ‛මහමෙව්නාව’ යන නමින් මෙම දහම් සේවාව අරඹන ලද්දේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවාව සිහි වීම පිණිස යි. ඉතා නිර්මල වූ බුදු වදන් ලොවට පවසන විට සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු නුවණැති මිනිසුන් මහමෙව්නාව වටා රොක් වීම පුදුමයක් නොවෙයි. අප ආශා කළ යුත්තේ බුදුරජුන් වදාළ සත්‍යයට පමණි. ඒ බුදුරජුන්ගේ ධර්මයට අප යම් තාක් ගරු කරයි ද, පුද පූජා පවත්වයි ද, ධර්මයට ගෞරව දක්වයි ද, ඒ ධර්මයට අනුව ජීවිතය විමසා බලයි ද, ජීවිතය හසුරුවයි ද, සත්‍ය සෙවීමේ ආශාවෙන් යුතු මිනිසාට එය හොඳට ම සෑහේ. මක් නිසාද යත් සත්‍යය යනු බුදු දහමයි. මහමෙව්නාව වටා එක්වන ඔබ සියලු දෙනාම මම මෙත් සිතින් පිළිගනිමි. අපගේ දහම් සේවාව තුළ කිසිදු ජාති භේදයක් නැත. භාෂා භේදයක් නැත. වර්ණ භේදයක් නැත. ආගම් භේදයක් නැත. ඕනෑම කෙනෙකුට බුදුරජුන්ගේ සත්‍යය විවෘතව ඇත. එම සත්‍යය තේරුම් ගැනීම පිණිස ඔබ බුද්ධිමත් නම් ඒ ධර්මය තිබෙන්නේ ඔබ සඳහා ය. ඔබේ යහපත හා සැපය සඳහා ය. එනිසා අප සියලු දෙනා එම සත්‍යය වටා රොක් වෙමු. ඉගෙන ගනිමු. ධාරණය කරගනිමු. තේරුම් ගනිමු. ඒ අනුව ජීවත් වෙමු. ලොවට බෙදා දෙමු. එය මේ යුගයේ අප සතු උත්තරීතර කාර්යභාරයයි…. මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ආරම්භය මහමෙව්නාව භාවනා අසපුව යනු ලෝක ව්‍යාප්ත ථේරවාදී බෞද්ධ ධර්ම ප්රචාරක මධ්‍යස්ථානයකි. මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි නිර්මාතෘ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් “ගෞතම බුදු සසුන බබුළුවන පිරිසක් බිහිවේවා!” යන උතුම් පැතුම පෙරදැරි කරගෙන 1999 අගෝස්තු මස 14 වැනි දින පොල්ගහවෙල වඩුවාවේ දී මුල් ම මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කරන ලදී. ඉටිරෙදිවලින් වටකළ පොල් අතු සෙවිලි කළ කුටි තුනකින් ආරම්භ කළ මහමෙව්නාව භාවනා අසපුව හරහා සිදුවූ සුවිශාල ධර්ම ප්රචාරක වැඩපිළිවෙළ තුළින් ගත වූ මෙම වසර විස්සක කාලය තුළ මහමෙව්නාව භාවනා අසපුව ලක්දිව මෙන්ම දේශ දේශාන්තරයන් හි ද කීර්තිමත් බෞද්ධ සිද්ධස්ථානයක් බවට පත්විය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් මින් වසර දෙදහස් තුන්සිය ගණනකට පෙර අනුරාධපුර මහමෙව්නා උයනේදී අපගේ ශ්‍රී ලංකාද්වීපයෙහි ගෞතම බුද්ධ සාසනය ස්ථාපිත කරන ලදී. ඒ ගෞතම බුදු සසුනේ සුන්දර පණිවිඩය ලොව පුරා පැතිරවීම ඉලක්ක කොටගෙන ය මෙම ආයතනයට “මහමෙව්නාව” යන නම තබන ලද්දේ. අසපුව යනු ආරාම යන පාළි වචනයෙහි සිංහල අර්ථය යි. ආශ්‍රම යනු එහි ම සංස්කෘත වචනය යි.